Monday, December 21, 2009

කොටි හිතවාදීන් ගේ කඳවුරට මාව තල්ලූ කරන්න එපා ! - ධර්මසිරි බණ්‌ඩාරනායක

කොටි හිතවාදීන් ගේ කඳවුරට
මාව තල්ලූ කරන්න එපා ! - ධර්මසිරි බණ්‌ඩාරනායක


ප්‍රශ්නය - මේ රටේ පැවැතුණු දේශපාලන ක්‍රමයට විරෝධය පළ කරමින් ඔබ විසින් 1976 දී කරලියට රැගෙන ආ "ඒකා අධිපති" නමැති වේදිකා නාට්‍ය දේශපාලන ප්‍රහසනයක්‌. 1971 කැරැල්ල පැවැති යුගයේදී මේ රටේ බිහිවෙමින් තිබුණු ෆැසිස්‌ට්‌වාදී පාලන තන්ත්‍රයට මුහුණදෙන ජනයාගේ ඉරණම මේ නාට්‍ය කෙරෙන් විද්‍යමාන වෙනවා. එහෙත් ආද්‍යතන සමාජයේ විවිධ දේශපාලන විපරීතයන් සිදුවුවත් එදා ඔබ සංවාදයට බඳුන් කළ ආකාරයේ බිහිසුණු දේශපාලන වටපිටාවක්‌ අද දක්‌නට නැහැ. මේ නිසා "ඒකා අධිපති" වසර තිස්‌තුනකට පසු හදිසියේම ප්‍රතිනිෂ්පාදනය වීම පිළිබඳ සැක සංඛා මතුවෙනවා. ඔබ මේ ඉටු කරමින් ඉන්නේ රාජ්‍ය නොවන සංවිධානයක කොන්ත්‍රාත්තුවක්‌ ද?

පිළිතුර- "ඒකා අධිපති" 76 නාට්‍යයක්‌. 1976 මේ නාට්‍යය ලාංකේය සමාජයේ ප්‍රදර්ශනය වන මොහොත අද හා සමානයි. නමුත් වකවානු දෙකක්‌. අද වෙන කොට මේ නාට්‍යයට අවුරුදු තිස්‌තුනක්‌ ගතවෙලා තිබෙනවා. නමුත් ඇතැම් දීන දේශපාලනඥයන් සහ අන්තවාදී මාධ්‍ය කණ්‌ඩායම් මේ නාට්‍යයට විරුද්ධව විවිධ මත පළ කරනවා. මේ ඊනියා අඳෝනාව නැඟෙන්නේ කොහෙන්ද?


යුද ජයග්‍රහණයෙන් උන්මාදයට පත් වු ව්‍යාජ ජාතික දෘෂ්ටිවාදීන්ගේ ලතෝනියයි මේ. ඒ අනුව වත්මන් සමාජය වැටී තිබෙන අස්‌ථානය මොනවට පැහැදිලි වෙනවා. මේ වෛරී සහගත, ජුගුප්සාජනක දේශපාලන ක්‍රියාදාමය අප හෙළා දැකිය යුතුයි. මේ නාට්‍යයට පසුබිම වන්නේ 1971 කැරැල්ලයි. සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ සහාග රජයට සමගාමීව රටේ සිදුවුණු දේශපාලන ඝාතන, දූෂණ හා භීෂණවලින් ඇති කළ කලබලකාරී වටපිටාව මේ නාට්‍ය නිර්මාණය කිරීමට කිසියම් උත්තේජනයක්‌ ලබා දුන්නා. ෆැසිස්‌ට්‌වාදී පාලන තන්ත්‍රයක ගතිකයන් අවබෝධ කොට ගැනීමට මේ නාට්‍යයෙන් පුළුවන්.

1976 නොවැම්බර් මාසයේ මේ නාට්‍යය කරලියට ගෙන එන විට අපට නොසිතු විරූ ආකාරයක ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබුණා. එදා "ඒකා අධිපති" නාට්‍යය වෙනුවෙන් ප්‍රශස්‌ත විචාරයක්‌ද ගොඩනැඟුණා. ප්‍රේක්‍ෂක විචාරක උභය පාර්ශ්වයේ තියුණු ප්‍රතිචාරවල ප්‍රතිඵලයක්‌ වශයෙන් 1996 දක්‌වා දර්ශන 1400 කට අධික සංඛ්‍යාවක්‌ පමණ මේ නාට්‍යය පෙන්වන්න අපට හැකි වුණා. එදා අපි මේ නාට්‍යය පළමු වරට ප්‍රදර්ශනය කොට අවසන්වූ පසු බණ්‌ඩාරනායක මැතිනියගේ රජය බිඳ වැටිලා මැතිවරණයක්‌ ප්‍රකාශයට පත් කර තිබුණා. අද අපි මේ නාට්‍යයේ පුහුණුවීම් ආරම්භ කෙළේ මැයි මාසයේදී. නමුත් වේදිකාගත කිරීමට සූදානම් වන විට ජනාධිපතිවරණයක්‌ ප්‍රකාශයට පත් වෙලා. ඉතින් මොකද කරන්නේ? මේ වත්මන් දේශපාලන වටපිටාව ඉලක්‌ක කරගෙන හදිසියේ කළ කාර්යයක්‌ නොවේ. ඊයේ පෙරේදා ඉඳලා හැම තැනම මේ ගැන කසුකුසුවක්‌ ඇහෙනවා. එහෙත් කලා කෘතියකට එරෙහිව මෙබඳු දුෂ්ඨ බලවේග ගොඩනැඟෙන සමාජය මොනතරම් සාහසික ද? දේශපාලනය විසින් ජනවිඥානය විනාශ කළ රටක ඒ ජනවිඥානය පෙරළා ගොඩනැඟීමට උත්සුක වන කලාකරුවකු හැටියට මේ සියලු තර්ජන ගර්ජන සහ රැවුම් ගෙරවුම් මා උපේක්‍ෂාවෙන් විඳ දරා ගන්නවා. එහෙත් කොටි හිතවාදියකුගේ තැනට මාව තල්ලු කරන්න එපා?

ප්‍රශ්නය - ඔබ විසින් නිර්මාණය කළ මකරාක්‍ෂයා, ධවල භීක්‍ෂණ, යක්‍ෂාගමනය, ට්‍රෝජන් කාන්තාවෝ වැනි වේදිකා නාට්‍යය සියල්ලක්‌ම විරෝධාකල්ප නාට්‍යය ලෙස ගිණිය හැකියි. ලෝකයේ විශිෂ්ට නාට්‍යකරුවන්ගේ උසස්‌ නාට්‍යය කෘති මේ රටට සරිලන ආකාරයට පරිවර්තනය කරමින් ඔබ පවතින ක්‍රමයට විකල්ප අවශ්‍ය බව මතු කළා. එහෙත් ක්‍රමය පිළිබඳ විරෝධය මතුවූවක්‌ සමාජය මේ ක්‍රමයටම අනුගතවීමේ ලක්‍ෂණ දක්‌නට ලැබෙනවා. මේ කෙරෙන් ගම්‍ය වන්නේ පවතින ක්‍රමය ස්‌වභාවික බවද?

පිළිතුර-පවතින ක්‍රමයට විකල්ප සෙවීම නාට්‍යකරුවාගේ කාර්භාරය නෙවෙයි. එහෙත් 70, 80 හා 90 දශකයේ මුල්භාගය දක්‌වා වේදිකාවට අවතීර්ණ වූ විරෝධාකල්ප නාට්‍යය කෙරෙන් විකල්පයක අවශ්‍යතාව ප්‍රබලව මතුවුණා. මේ දේශපාලන ක්‍රමය වෙනස්‌ කිරීමේ පරමාර්ථයෙන් කලාකරුවකුට අමතරව රටේ පුරවැසියකු විදිහට ද මා චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මැතිනිය බලයට ගෙන ඒමේ ව්‍යාපෘතියට දායක වුණා. 1994 දී එක්‌සත් ජාතික පක්‍ෂය පරාජය කිරීමේ කාර්යයේදී කලාකරුවකු විදිහට මා සන්ධාන ආණ්‌ඩුවට සහයෝගය පළ කළා. එහෙත් සිදුවූයේ කුමක්‌ද? 1994 දී අපි මහත් පරිශ්‍රමයෙන් ගොඩනැඟීමට දායක වූ ආණ්‌ඩුව පෙරළා යුද මාවතම තෝරා ගත්තා. මේ රටේ පුරවැසියාගේ සංස්‌කෘතික ජීවිතය ආධ්‍යාත්මය ඇතුළු හර පද්ධතීන් සියල්ල උඩුයටිකුරු කරමින් ඉදිරියට ගිය මේ යුද්ධය කෙරෙහි ඇතිවූ කලකිරීම හේතුවෙන් මා පක්‍ෂ දේශපාලන ව්‍යාපෘතිවලීන් සම්පූර්ණයෙන්ම ඉවත් වුණා. මට මේ රටේ ඇතැම් දීන කලාකරුවන් මෙන් අවස්‌ථාවාදී දේශපාලනයක නියෑළීමේ අවශ්‍යතාවක්‌ නැහැ.

මට භෞතික ජීවිතයේ ඕනෑ එපාකම් හරිම අල්පයි. අද පක්‍ෂ දේශපාලනයට බද්ධ වී සිටින ඇතැම් කලාකරුවන්ගේ මූලික අරමුණ වනුයේ සුඛෝපභෝගී නිවසක්‌, වාහනයක්‌ වැනි දේවල් ලබාගැනීමට උත්සාහ කිරීමයි. එහෙත් මට ඒ සියල්ල දේශපාලන පක්‍ෂයකට පන්දම් අල්ලලා ලබාගන්න වුවමාන නැහැ. මා මේ හැම භෞතික සම්පතක්‌ම බුක්‌ති විඳිනවා. මේ නිසා මා නිර්මාණකරුවකු හැටියට ක්‍ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා කිසියම් වූ දායකත්වයක්‌ ලබාදීමට නිතරම උත්සාහ කරනවා. මා පසුගිය කාලවකවානුව තුළ මේ ජනවාර්ගික අර්බුදය තේමා කොටගත් කෙටි චිත්‍රපට පහළොවක්‌ පමණ නිර්මාණය කළා. කලාකරුවකු හැටියට සංස්‌කෘතික ක්‍ෂේත්‍රයේදී දිය හැකි උපරිම දායකත්වය මේ වන විට ලබාදී තිබෙනවා. මේ රටේ පැවැති ජනවාර්ගික යුද්ධය හේතුවෙන් ඇතිවූ බරපතළ සමාජ විපරිවර්තනයන් මා මේ සියලු කෙටි චිත්‍රපට ඔස්‌සේ සංවාදයට බඳුන් කළා.

මේ මොහොත වන විට අපේ රටේ කලාකරුවන් බොහෝ දෙනෙක්‌ දේශපාලනය උදෙසා කැපවූ මනුෂ්‍ය කොට්‌ඨාසයක්‌ බවට පත්වෙලා. මේ හේතුවෙන් කලාකරුවා පිළිබඳ ජනතාව අතර තිබෙන ගෞරවාන්විත භාවය අහෝසි වී තිබෙනවා.

එහෙත් රටේ ඉහළම ප්‍රභූවරයා ආරාධනා කළත් දේශපාලන වාසි ලබාගැනීමේ පරමාර්ථයෙන් මට එවැනි ප්‍රාථමික තලයකට වැටෙන්න බැහැ. මේ රටේ පැවැති ප්‍රධාන මැතිවරණ දෙකේදීම මට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා ද පෙරළා දේශපාලනයට පිවිසීමට ආරාධනා කළා. එහෙත් පක්‍ෂ දේශපාලනයට මා තුළ තිබූ අකැමැත්ත නිසාම ඒ සියලු ඇරියුම් ප්‍රතික්‍ෂේප කළා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා "ඒකා අධිපති" පෙරළා ප්‍රදර්ශනය කරන බව දැනගෙන මට සුබ පැතීම සඳහා ලයනල් වෙන්ඩ් රඟහලට පැමිණියා. එදා ඔහු නාට්‍යය නොරැඹුවත් මට සුබපැතීමට පැමිණීම ගැන මා සතුටු වෙනවා. මොකද? මේ රටේ තවමත් ජනාධිපති එතුමායි. එහෙත් මා එතුමා ළඟ නැහැ.

ප්‍රශ්නය - අද අපි අවතීර්ණ වී සිටිනුයේ පශ්චාත් ධනවාදී යුගයකට. ගෝලීය ප්‍රාග්ධනයේ වේරම්භවාතයෙන් සුනු විසිනු වී ගිය රටක ජනතාවට තව දුරටත් සංස්‌කෘතික ජීවිතයක්‌ විඳීමට අවකාශය නැහැ. අද කලාකරුවගේ ප්‍රතිභාව පවා වෙන්දේසි වෙමින් පවතිනවා. වාණිජ ධනවාදයෙන් පෝෂණය වන විනෝද සමාජයකට "උසස්‌ කලා කෘති" නිෂ්පාදනය කිරීමෙන් පලක්‌ තිබෙනවාද?

පිළිතුර- මේ ධනවාදී අර්ථ ක්‍රමයේ අවසාන ස්‌වරූපය නෙවෙයි. ආසියාතික රටවල සංස්‌කෘතික හරපද්ධතීන් විනාශ කරමින් හමා එන මේ වේරම්භවාතයට අප නොබියව මුහුණ දිය යුතුයි. සමාජයක අප යම් අනතුරක සිටින බව කියා පෑම කලාකරුවකුගේ වගකීමක්‌ කියා මා හිතෙනවා. මෙහිදී අවරගණයේ කලා කෘති නිර්මාණය කිරීමට වඩා කලාකරුවා උත්තම ගණයේ නිමැවුම් හැමවිටම සමාජගත කිරීමට වගබලා ගත යුතුයි. සමාජ බලවේගයන්ගේ විපරිණාමයන්ට සහ අභියෝගයන්ට බියේ අපි පලා යා යුතු නැහැ. විනෝදය මූලික කරගත් සමාජයක අතළොස්‌සක්‌ තරම් වූ ප්‍රේක්‍ෂකයා හෝ මේ යුගයේ නාට්‍ය ශාලාවට පැමිණීමම වැදගත්.

ජීවත්වීම පිළිබඳ මිනිස්‌සු තුළ පවතින වේදනාව අද ඇතැම් දේශපාලන බලවේග විසින් ගසා කනවා. මේක මහා ෙ€දවාචකයක්‌. පසුගිය කාලේ මේ සමාජය අමතන්න ප්‍රබල නාට්‍යකරුවකු ඉදිරිපත් වුණේ නැහැ. රාජිත දිසානායක වැනි නාට්‍යකරුවකු දෙන්නකු හැරෙන්නට අන් සියල්ලම පුද්ගල හා අති සරල ආකාරයට මේ ක්‍ෂේත්‍රය සමඟ ව්‍යාජ ගනුදෙනුවක නියෑළුණා. 1999 ට්‍රෝජන් කාන්තාවෝ නම් වූ වේදිකා නාට්‍යය නිර්මාණය කිරීමෙන් පසු දශකයකට අධික කාලයක්‌ පමණ මා ප්‍රසිද්ධ වේදිකා නාට්‍යයකට දායක වී නැහැ. 1976 "ඒකා අධිපති" නාට්‍යයේ මැල්කම්ගේ චරිතය නිරූපණය කරන විට මගේ වයස අවුරුදු 26 යි. අද මට අවුරුදු 60 ක්‌ වෙනවා. එහෙත් මම මගේ ජීවිතයෙන් අවුරුද්දක්‌ මා විසින් නිර්මාණය කළ සියලුම වේදිකා නාට්‍යය පෙරළා ප්‍රතිනිෂ්පාදනය කිරීමට කල්පනා කළා. විශේෂයෙන්ම වත්මන් තරුණ පරපුරට මේ නාට්‍යය සියල්ල දැක බලා ගැනීමට ඉඩ ප්‍රස්‌ථාව ලබාදීමේ අරමුණින් මේ කර්තව්‍යයට මුල පිරුවා.

අද විශ්වවිද්‍යාලවල බොහෝ විද්‍යාර්ථයින් ඔවුන්ගේ උපාධි නිබන්ධනවලට මගේ වේදිකා නාට්‍යය තෝරා ගන්නවා. එහෙත් ඒ එකදු ශිෂ්‍යයෙක්‌ හෝ මගේ කිසිම නාට්‍යයක්‌ නරඹා නැහැ. මේ ගොල්ලෝ මාව සොයාගෙන ඇවිත් මගේ හැම නාට්‍යයකම මුල්පිටපත ෆොටෝ කොපි කරගෙන යනවා. ඔවුන් උපාධි නිබන්ධනය සම්පූර්ණ කරන්නේ එමඟින්. එහෙත් මෙය අධ්‍යාපනයට කරන තක්‌කඩිකමක්‌. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ උපදෙස්‌ මත ඔවුන් මා සොයා පැමිණෙන්නේ මගේ නාට්‍යවලින් ලබාගත් වින්දනයෙන් පරිපූර්ණ වූ රසිකත්වයකින් නෙවෙයි. ඔවුන් මගේ එකදු නාට්‍යයක්‌වත් නොබලා එහි පිටපත පමණක්‌ අධ්‍යයනය කරන්නේ විභාගයෙන් එගොඩවීමට විතරයි.

ප්‍රශ්නය - ප්‍රේක්‍ෂකයා කියන්නේ මේ රටේ පුරවැසියා යි. එහෙත් එදා වේදිකා නාට්‍යයක්‌ නැරඹීමට පැමිණි ඒ ප්‍රේක්‍ෂක පුරවැසියා අද රංග ශාලාවෙන් දුරස්‌ වෙලා. දශකයකට පමණ පසු ඔබ පෙරළා මේ සමාජය ඇමතීමට උත්සාහ කළත් ඔබට එය කිරීමට සිදුවී තිබෙන්නේ හිස්‌ ප්‍රේක්‍ෂකාගාරයකට. මේ පිළිබඳ ඔබට මොකද හිතෙන්නේ?

පිළිතුර- අද මේ රටේ ප්‍රේක්‍ෂකාගාරයට හෙණ ගහලා. එදා උසස්‌ වේදිකා නාට්‍යයක්‌ නැරඹීමට පැමිණි විදග්ධ ප්‍රේක්‍ෂක ප්‍රජාව පවා මේ වනවිට වඳවී ගිහින්. මේ තත්ත්වය උද්ගතවීම කෙරෙහි සමාජ, ආර්ථික, දේශපාලන ආදී කාරණා රාශියක්‌ බලපා තිබෙනවා. එදා සහ අද වකවානු දෙකක්‌. ප්‍රේක්‍ෂකයාගේ පාර්ශ්වයෙන් බැලුවොත් එදාට වඩා අද අගහිඟකම් බොහෝමයි. එහෙත් 1976 සිට 80 දක්‌වා ප්‍රේක්‍ෂකාගාර පිරී ගියේ රජයේ විවිධ වෘත්තිකයන්ගෙන්. ඔවුන් බොහෝ දෙනෙක්‌ උගත්, බුද්ධිමත් පිරිසක්‌. මේ නාට්‍යය නැරඹූ දැවැන්තම පරම්පරාව වනුයේ කම්කරු පන්තියයි. එහෙත් 1980 ජුලි වැඩවර්ජනයෙන් පසු මේ පරම්පරාවේ සංස්‌කෘතික ජීවිතය ඇල්මැරුණු ස්‌වභාවයකට පත් වෙනවා. එදා හෙන්රි ජයසේනගේ "මකරා" සුගතපාලද සිල්වාගේ "දුන්න දුනුගමුවේ", සයිමන් නවගත්තේගම ගේ "සුබ සහ යස" ආදී දැවැන්ත නාට්‍යය නැරඹීම සඳහා පැමිණි ප්‍රේක්‍ෂකයන්ගෙන් රංග ශාලා අතුරු සිදුරු නැතිව පිරී ගියා. එහෙත් වත්මන් තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්‌. මේ රටේ පැවැතුණු දරුණු යුද්ධය විසින් මිනිසුන්ගේ සමස්‌තය විනාශ කොට තිබෙනවා. අද තිබෙන්නේ පුද්ගලයා කේන්ද්‍රකොට ගත් සමාජයක්‌. මේ සමාජයේ මිනිස්‌සු හැමවිටම ජීවත් වන්නේ කෝපයෙන්. ඔවුන් එකිනෙකාට කුලල් කා ගනිමින් මුදල් හම්බ කිරීමේ පොරපිටියට එකතු වී තිබෙනවා. මේ වාතාවරණය හමුවේ තවදුරටත් ඔවුනට සංස්‌කෘතික ජීවිතය විඳීමේ ඉඩ ප්‍රස්‌ථාව නැහැ. මේ තත්ත්වය ඇති කෙළේ කවුරුන් විසින්ද? පවතින දේශපාලන ක්‍රමය මේ සියල්ලට වගකිව යුතුයි.

අද මිනිස්‌සුන්ට නාට්‍යයක්‌ බලන්න යන්න වේලාවක්‌ නැහැ. ඔවුන් දවසෙන් අඩක්‌ම ගත කරන්නේ මහ පාරේ. දේශපාලන ප්‍රභූවරුන් යන සෑම අවස්‌ථාවකදීම පාරවල් වහනවා. මේ නිසා කෙනකුට තමන්ට යන්න ඕන තැනට වෙලාවට යන්න බැහැ. ප්‍රචණ්‌aaaඩත්වය සහ මර්දනය මූලික කරගත් සමාජයක සෞන්දර්යවාදී වුවමනාවක්‌ යටපත්වීමට පුදුමයක්‌ නොවේ. එහෙත් අතළොස්‌සක්‌ තරම් වූ ප්‍රේක්‍ෂකයන්ට හෝ මා නාට්‍යය ඉදිරිපත් කරනවා. ඒ මගේ ආත්ම තෘප්තිය සඳහා යි.

ප්‍රශ්නය - මෑතකදී නැරඹූ ප්‍රශස්‌ත ගණයේ වේදිකා නාට්‍යවල දෙබස්‌වලට ප්‍රේක්‍ෂකයෝ බඩ අල්ලගෙන හිනාවෙන ආකාරය මා දුටුවා. රංග ශාලාවකදී මිනිස්‌සු මේ විදිහට පැල් බැඳගෙන හිනාවෙමින් විනෝද වන්නේ නාට්‍යයේ අවුලක්‌ නිසාද? එසේත් නැත්නම් සමාජයේ අවුලක්‌ හින්ද ද?

පිළිතුර-රාජිත දිසානායකගේ "ආපසු හැරෙන්න බෑ" නාට්‍යය නරඹන විට මමත් ඔය අත්දැකීමට මුහුණ දුන්නා. හැබැයි මට හිතෙන විදිහට ඒක නාට්‍යයේ අවුලක්‌ නෙමෙයි. සමාජයේ අවුලක්‌. නාට්‍යයක ගැබ් වූ හාස්‍යයක්‌ තිබෙන්න පුළුවන්. එහෙත් නාට්‍ය නරඹන විටදී ප්‍රේක්‍ෂකයා අසීමිත ලෙස විනෝද වන්නේ ඇයි දැයි යන්න අප වහාම සොයා බැලිය යුතුයි. ප්‍රේක්‍ෂකයා කුමන කාරණයක්‌ උදෙසා හිනාවෙනවා දැයි යන්න අපට එකවර හිතාගන්න බැහැ. ප්‍රේක්‍ෂකයා හිනාවෙනවා කියන්නේ එක්‌තරා ආකාරයකට තමන් තුළ තිබෙන තෙරපුම මුදාහැරීමක්‌. ඔහු සිනාව ඔස්‌සේ තමන්ගේ හැඟීම් පළ කරනවා වෙන්නත් පුළුවන්. මේ සමඟ ඔවුන් නාට්‍ය හා බද්ධවීමක්‌ද සිදුවෙනවා. එහෙත් ප්‍රේක්‍ෂකයා නාට්‍යය ආරම්භයේ සිට අවසානය දක්‌වා සිනහවම ඉල්ලා සිටිනවා නම් ඒක විශාල ප්‍රශ්නයක්‌. මේ සමාජය වැටී තිබෙන තැන අපට එයින් හිතාගන්න පුළුවන්. වත්මන් සමාජය හැසිරෙන ආකාරය දිහා බැලුවම ඔහොම හිනාවෙලා නැවතුනොත් ඇති කියලත් හිතෙනවා.

ප්‍රශ්නය - රංග කලාව කියන්නේ නිර්මාණශීලී මිනිසුන් අතර සිදුවන අභිමුඛවීමක්‌. රංග කලාව හා එහි භාවිතය ඒ අරුතින් අභිමුඛවීමේ කලාවක්‌ හැටියට ගිණිය හැකියි. රංගධරයා නාට්‍ය තුළත් ඉන් පිටතත් මේ අභ්‍යාසයේ නියෑළෙනවා. ඉයුජිනියෝ බර්බා නමැති නාට්‍යකරුවා පවසන්නේ නාට්‍ය කලාවේ නියෑළෙන්නාට පර්සනල් මැලේරියාවක්‌ (ඡැරිදබ්ක ඵ්කැරස්‌) වැළඳී ඇති බවයි. ඔබටත් මේ රෝග ලක්‍ෂණ මතුවී ඇති බව පෙනෙනවා?

පිළිතුර- මේ කලාව දිගින් දිගටම කරගෙන යැමේ පෞද්ගලික උණක්‌ මටත් තිබෙනවා. මෙතනින් එළියට බැස්‌සම මනුෂ්‍යයකු විදිහට ජීවත්වීමට තිබෙන මූලික හැකියාව අද අහෝසිවී ගිහින් තිබෙනවා. එහෙත් නිර්මාණකරුවකු, කලාකරුවකු හැටියට මා මේ සමාජ මෙහෙවර තවදුරටත් කළ යුතු යෑයි හැඟෙනවා. නාට්‍යකරුවකු, සිනමාකරුවකු වීමට තිබුණු උණ නිසාම මට විශාල පාඩු සිදුවී තිබෙනවා. අපේ එකම ධනය වන්නේ මේ කලාවයි. නාට්‍යය හා සිනමා නිර්මාණවලින් ලැබුණු සියලු අත්දැකීම් මගේ මුළු ජීවිතය පුරාම හදවතේ ගැඹුරුම තැනක තැන්පත් කරගෙන ඉන්නවා. කලාවේදී මා නිතරම අව්‍යාජ චරිතයක්‌. නිදසුනක්‌ විදිහට 1976 නිෂ්පාදනය කළ "ඒකා අධිපති" නාට්‍යයේ මුල් පිටපතේ ඇලපිල්ලක්‌ හෝ පාපිල්ලක්‌ අද වෙනකම් වෙනස්‌කොට නැහැ. මාගේ පැරැණි වේදිකා නාට්‍යය සියල්ලක්‌ම අනුපිළිවෙළින් සමාජයට ගෙනන අතර ම ගාමිණි වියන්ගොඩ ආතර් මිලර් ගේ මායා බන්ධන (ඔයෑ Cරමිසඉකැ) නමින් පළ කළ පරිවර්තන නාට්‍යය "මායාවේශ" නමින් නිෂ්පාදනය කොට ලබන වසරේ වේදිකාගත කරනවා. සමහරු මගෙන් අහනවා ඇයි? ඔබ තවමත් නාට්‍ය කරන්නේ? කියලා. මා නාට්‍ය කරන්නේ ඔය අර කලින් සඳහන් කළ "පර්සනල් මැලේරියාව" නිසාමයි.

ප්‍රශ්නය - මේ කලාවේ ප්‍රගමනය සඳහා දායක වූ මහ පරම්පරාව දැන් මිය ගිහින්. හෙන්රි ජයසේනයන්ගේ වියෝවෙන් පසු ඒ පරම්පරාව සම්පූර්ණයෙන්ම අහෝසි වුණු බව පෙනෙනවා. නාට්‍යකරුවකු හැටියට මේ වියෝව ඔබට දැනෙන්නේ කොහොමද?

පිළිතුර- මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, දායනන්ද ගුණවර්ධන, හෙන්රි ජයසේන, සුගතපාල ද සිල්වා ආදීන් ඔබ සඳහන් කළ මහ පරම්පරාවේ නාට්‍යකරුවෝ. ඔවුන් මුළු මහත් සමාජයක්‌ ඇමතූ කලාකරුවන්. ඔවුන්ගේ ඇතැම් නිර්මාණවලට දායකවීමෙන් අප ලබාගත් ගුරුහරුකම් බොහෝමයි. එහෙත් ඔවුන් කිසිවකු තරුණවියේදී අප අතරින් වියෝ වූයේ නැහැ. ඔවුන් සිය ජීවිත කාලයේදී හැකි පමණින් නිර්මාණ ක්‍රියාවලියේ යෙදුණා. නාට්‍යය කලාව පෝෂණය වෙන්න නම් ඒ වෙනුවෙන්ම ඇප කැපවුණු පිරිසක්‌ සිටිය යුතුයි. නිදසුනක්‌ හැටියට මැතකදී අප අතරින් වියෝවූ ගාමිණි හත්තෙට්‌ටුවේගම නාට්‍යවේදියා ගිණිය හැකියි. ඔහු මුළු ජීවිත කාලයම වීදි නාට්‍යය කලාවේ උන්නතිය වෙනුවෙන් කැප කළා. ඔහු තමා පටන් ගත්ත තැනින් ම ඉවර කළ කලාකරුවෙක්‌. නාට්‍යය කාලවේ පමණක්‌ නොව හැම කලා ක්‍ෂේත්‍රයකම මේ මහ පරම්පරාව වඳ වී ගිහින්.

අපේ නාට්‍යවලට එදා හොඳ විචාර කලාවක්‌ ගොඩනැඟී තිබුණා. අපි ඒ කාලේ ප්‍රශස්‌ත නාට්‍යයක්‌ නැරඹීමට රංග ශාලාවට යන්නේ ඒ පිළිබඳ ලියෑවුණු විචාර කියවලා නිහාල් රත්නායක, රෙජී සිරිවර්ධන, අජිත් සමරනායක, බන්දුල ජයවර්ධන ආදී දැවැන්ත විචාරක පරපුරක්‌ අපට හිටියා. ප්‍රේක්‍ෂකයා සහ නාට්‍ය අතර තිබෙන පරතරය බිඳ දැමීමට මේ විචාරකයන්ට හැකි වුණා.

නාට්‍ය කලා විෂයයට සීමාවුණු ඒ වෙනුවෙන්ම කැපවුණු පිරිසක්‌ නොමැතිකම අද තිබෙන ප්‍රධාන ගැටලුවක්‌. අද තරුණ නළු නිළියන් ඔවුන් "ප්‍රොෆිෂනල්" කලාකරුවන් හැටියට සමාජය ඉදිරියේ පෙනී ඉන්නවා. එහෙත් මේ විෂය සම්බන්ධයෙන් ඔවුන්ගේ දැනුම අල්පයි. ඔවුන් කිසිම අධ්‍යයනයක නියෑළෙන්නේ නැහැ. අප ජීවත්වන වටපිටාවේ තිබෙන දේවල් උකහා නොගෙන ඒවා තේරුම් නොගෙන රංගනයේ නියෑළෙන නළු නිළියන්ට මේ වෘත්තියේ ආයූෂ ඉතාම කෙටියි. වේදිකාව පෝෂණය කිරීමට නම් වෙනත් මාධ්‍යවලට නොයා ඒ වෙනුවෙන්ම කැපවිය යුතුයි. එහෙත් අද සමහර නළු නිළියන් ප්‍රසිද්ධ නාට්‍යකරුවන්ගේ නිර්මාණවලට සම්බන්ධ වන්නේ තවත් තැනක වැඩක්‌ අල්ලා ගැනීමේ පරමාර්ථයෙන්. රංගන ශිල්පියා කියන රූපයේ හැඩය දැන් වෙනස්‌ වෙලා.

ප්‍රශ්නය - ඔබ ප්‍රශස්‌ත සිනමා කෘති කිහිපයක්‌ම නිර්මාණය කළ අධ්‍යක්‍ෂවරයෙක්‌. එහෙත් ඔබ මේ වන විට සිනමා ක්‍ෂේත්‍රයෙන් සම්පූර්ණයෙන්ම දුරස්‌ වෙලා. මේ මොහොතේ සිනමාව පිළිබඳ ඔබට මොකද හිතෙන්නේ?

පිළිතුර- ඇත්තෙන්ම එක්‌ සිනමා නිර්මාණයකින් පසු තවත් සිනමා නිර්මාණයක්‌ කිරීමට මා ඉක්‌මන් වන්නේ නැහැ.

නව නිර්මාණයක්‌ සඳහා මට විවේක බුද්ධිය මෙන්ම කාල අවකාශය ද අවශ්‍යයි. එහෙත් පසුගිය කාලේ ජනවාර්ගික අර්බුදය තේමාකර ගත් කෙටි චිත්‍රපට රාශියක්‌ම මා විසින් නිර්මාණය කළා. භවදුක, භවකර්ම යන චිත්‍රපටවලින් පසු තවම මා සිනමා නිර්මාණයක්‌ කිරීමට පෙළඹී නැහැ. එහෙත් ඉදිරියේදී මා නිෂ්පාදනය කළ වේදිකා නාට්‍ය ඔස්‌සේ එබඳු සිනමා නිර්මාණයක්‌ කිරීමට අවකාශය තිබෙනවා. අද ඉඳහිට හෝ ප්‍රශස්‌ත සිනමා කෘතියක්‌ දෙකක්‌ බිහි වෙනවා. ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම, විමුක්‌ති ජයසුන්දර වැනි තරුණ සිනමාකරුවන් ක්‍ෂේත්‍රයට උපරිම දායකත්වය ලබා දෙනවා. එහෙත් ඔවුන්ගේ ඇතැම් සිනමා නිර්මාණවලට වාරණ නියෝග පැනවීමෙන් ඇතිවූ අභාග්‍ය සම්පන්න තත්ත්වය පිළිබඳ මා තුළ ඇත්තේ කනගාටුවක්‌.

ප්‍රශ්නය - ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික පදනම වන්නේ වැඩිහිටි පුරවැසියා යි. සමාජ, ආර්ථික, දේශපාලනික සහ සදාචාරමය කරුණු පිළිබඳ තීරණ ගැනීමට ඔහුට පූර්ණ අයිතියක්‌ තිබෙනවා. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදයේ සම්මුතීන්ට එරෙහිව බලහත්කාරී වාරණ නියෝගයක්‌ ජනතාව මත පැටවීම පිළිබඳ ඔබට මොකද හිතෙන්නේ?

පිළිතුර- සිනමා නිර්මාණයක ගුණ දොස්‌ පිළිබඳ විචාරාත්මක ඇගයීම් කර ගැනීමට පුරවැසි සමාජයට සම්පූර්ණ අයිතිය තිබිය යුතුයි. එහි කිසිදු විවාදයක්‌ නැහැ. මං හිතන්නේ අපේ සාම්ප්‍රදායික සමාජය වුණත් ඒ පිළිබඳ කිසියම් දැනුම්වත්භාවයකින් ඉන්නවා. එහෙත් අපට තවමත් තිබෙන්නේ නිවැරදිව පරිවර්තනය නොවූ සමාජයක්‌. අපේ මුළු සමාජයම විපරීතයක්‌. අපේ සමාජයේ තිබෙන මේ විපරීත ලක්‍ෂණ නිසා තමයි අශෝක හඳගම, විමුක්‌ති ජයසුන්දර වැනි බුහුටි සිනමාකරුවන්ගේ ප්‍රශස්‌ත සිනමා කෘති වාරණයට ලක්‌ වන්නේ. කලාකරුවකුගේ පරිකල්පනයට වැට බඳිමින් සමාජයක්‌ කිසියම් දියුණුවක්‌ බලාපොරොත්තු වෙනවා නම් ඒක සම්පූර්ණයෙන්ම මිත්‍යාවක්‌.

සංවාද සටහන ශෂී ප්‍රභාත් රණසිංහ
http://www.divaina.com/2009/12/20/feature26.html

No comments:

Post a Comment