Friday, March 26, 2010

පාදඩ සංස්කෘතිය නිසාත් අප අවතැන් වුණා- ධර්මසිරි බණ්ඩාරනායක

ප්‍රවීණ රංගන ශිල්පියකු, නාට්‍යකරුවකු, සිනමාකරුවකු වන ධර්මසිරි බණ්ඩාරනායකගේ “ඒකා අධිපති” නාට්‍යය මේ දිනවල වේදිකා ගතවෙමින් පවතී. “ඒකා අධිපති” කේන්ද්‍ර කර ගනිමින් කෙරුණු මේ සංලාපය පොදුවේ ලාංකීය කලා ක්ෂේත්‍රය මෙන් ම අද්‍යතන ගැටලු හඳුනා ගැනීමට දරන උත්සාහයක් දක්වා දිග හැරෙයි.

70 දශකයේ “ඒකා අධිපති” බිහිවීම සහ 2010 ට එහි සාකල්‍යය ම ගැළැපීම තේරුම් ගන්නේ කොහොම ද?

මේකේ අත්පිටපත මගේ අතින් ලියැවෙන්නේ 1975 දී. 76 අපේ‍්‍රල් මාසයේදී පුහුණුවීම් පටන්ගත්තා. නොවැම්බර් මාසය වෙනකොට ප්‍රදර්ශනය කරනවා. මේ නාට්‍ය නැවත අවුරුදු 33 කට පස්සේ ආපහු ගේන්න හේතුව මොකක්දැයි බොහෝ දෙනෙක් මගෙන් අහද්දී සමහර විට ඒකට මං දුන්නු උත්තර මට ම පැහැදිලි නෑ. සමහර වෙලාවට මගෙන් එහෙම අහන එකමත් නාට්‍යය වර්තමානයට දක්වන සම්බන්ධයට උත්තරයක් කියලයි මට හිතෙන්නේ.

නාට්‍ය පිටපත ලියැවෙන්න බලපාන පසුබිම මොකද්ද?

71 කැරැල්ලත් එක හේතුවක්. මං එතකොට උසස් පෙළ හදාරන ශිෂ්‍යයෙක්. කැරැල්ල මෙහෙයවපු ජනතා විමුක්ති පෙරමුණට මගේ කිසිම සම්බන්ධයක් තිබුණේ නෑ. ඒත් ඒ කැරැල්ලට මගේ යහළු යෙහෙළියන් බොහෝ දෙනෙක් සම්බන්ධ වුණා. ඔවුන් ගේ ඒ අත්දැකීම් මගෙත් එක්ක බෙදාහදා ගත්තා. ඒ ගොඩක් දෙනෙකුට අත්විඳින්නට සිද්ධ වුණු කටුක අත්දැකීම් මාව කම්පනයට ලක් කළා. මුළු සමාජය ම දැඩි අස්ථාවරභාවයකට තල්ලු වුණා. උසස් පෙළින් පස්සේ විශ්ව විද්‍යාලයට යනවා කියන බලාපොරොත්තු පවා විභාගේ ලියන කාලෙදි ම සුන් කර ගන්න සිදුවුණා.

මොකද ඒ වෙද්දී විශ්ව විද්‍යාල කියන්නෙ 71 කැරැල්ලට සම්බන්ධ තරුණ තරුණියන් ගාල් කරල තියපු සිර කඳවුරු. මේ තත්ත්වය නිසා මං හොරණ විද්‍යාරත්නයෙන් උසස් පෙළට ලියලා ඉස්කෝලේ යන කාලේ ඉඳන් ම මට නාට්‍යය කලාවට තිබුණු ළෙන්ගතු කමත් එක්ක ම කොළඹ එන්න සිදුවුණා. මට රස්සාවක් හම්බ වුණා. ඒ කාලේ විදිහට සැලැකිය යුතු පඩියකුත් හම්බ වුණු හින්දා වියදම් ටික පියවාගෙන නාට්‍ය බලන්න, රස්තියාදු ගහන්න වෙලාවකුත් හම්බ වුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට හෙන්රි ජයසේනයන් “මකරා” නමින් වේදිකාවට ගෙන ආ යෙව්ගිනි ස්වෝට්ස් ගේ නාට්‍යයේ රඟපාන්න මට අවස්ථාව ලැබුණා. “මකරා”ට සම්බන්ධ වීමට අවස්ථාව ලැබීම ම මට “ඒකා අධිපති” කරන්නට අවශ්‍ය වුණු සම්පත් බොහොමයක් ලබා ගන්න හැකි වුණු අවස්ථාවක් වුණා.

අද “ඒකා අධිපති” පේ‍්‍රක්ෂාගාරය ගැන යමක් කිව හැකි ද?

නරඹන සෑම කෙනෙක් ම වගේ සියුම් ප්‍රශ්නයක් නොපෙනෙන්න අහනවා. ඒ එදා නාට්‍යයට අදට ගැළැපෙන ලෙස වෙනස් කළා ද කියලා. 75 දී මං ලීව මුල් පිටපතේ එක ඉස්පිල්ලක්, පාපිල්ලක් මං වෙනස් කරලා නෑ. සමස්ත සමාජයක් ෆැසිස්ට්වාදී ග්‍රහණයට හසුවුණාට පස්සේ, ඒ සමාජය ම එකී පාලන තන්ත්‍රයට අශිර්වාද කරමින් ම එහි ගොදුරක් බවට පත් වූවාට පසු “ගැළවීම” කියන්නෙ ම ඊට එහා යන මහා ක්‍රියාදාමයක්. අද දවසේ මගෙන් කවුරු හරි මේක අද ලියවුණු එකක්ද, නැත්නම් අලුත් කෑලි මේකට එකතු කළා ද කියල අහද්දී ඒක එහෙම වෙන්නේ නාට්‍ය, සමාජය තුළ වග විභාග කරමින් වෙමින් තියෙන නිසයි. ඒක සුබ දෙයක්. ඒත් පේ‍්‍රක්ෂකයා වර්තමාන දේශපාලන වටපිටාවේ ඒ විදිහට ප්‍රශ්න කිරීම කලාකාරයෝ විදිහට අපට අනතුරු දායකයි.

ඔබ කියන අනතුරුදායක බව ඔබගේ වෙනත් නිර්මාණවලටත් යම් යම් අවස්ථාවල බලපැවැත්වුණා නොවේ ද?

ඔව්. 1976 දී “ඒකා අධිපති” කියන නම අර්බුදයක් නොවුණට 2010 දී පෝස්ටරය ඇලවෙන තැන ඉඳල ම අර්බුදය පටන් ගන්නවා. එක් එක් දේශපාලන න්‍යාය පත්‍රයන් ඇතුළේ නාට්‍ය ප්‍රශ්න කිරීමට ලක්වෙනවා. කලා කෘතියක් ඒ විදිහට ප්‍රශ්න කිරීමට ලක්වීම කලාව ඇතුළේ “ප්‍රබල සන්නිවේදනයක්”. මේ අත්දැකීම ම මට ධවල භීෂණ “යක්ෂාගමනය” “ට්‍රෝජන් කාන්තාවෝ” නාට්‍යය වලදීත් මුහුණ දෙන්න වෙනවා. “ට්‍රෝජන් කාන්තාවෝ” නාට්‍යයේ රඟපෑව අයගේ ගෙවල් දොරවල් ගිනි තිබ්බා. සංගීත ශිල්පියාට තර්ජනය කරලා නිහඬ කෙරෙව්වා.

වර්තමානයේ නාට්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඔබේ අදහස කෙබඳු ද?

නාට්‍ය කලාව කියන්නේ වර්තමානයේ අන්තයට ම පිරිහුණු කලාවක්. රාජ්‍ය මට්ටමින් එක එක උදාර වචන, උදාර වැඩපිළිවෙළවල් තිබුණට සැබෑ අර්ථයෙන් ගත්ත ම නාට්‍ය කලාව තියෙන්නේ ඉතා පහළ අඩියකයි.

ඔබගේ “ඒකා අධිපති” නාට්‍යයේ දෘෂ්ටිය පිළිබඳ සැලැකිල්ල යොමු කිරීමේදී පෙනී යනවා එහි කැරලි නායකයා සමස්ත සමාජය ම වෙනස් කරන්නට කැරලි ගසා තම බිරියගේ පතිවෘතය රැකගැනීම කියන කාරණය සමාජ අරගලයට වඩා වටින බවට පෙන්වා දෙන බව.

මරණය කැඳවා ගන්නක්. 70 දශකයේ දී කොහොම වුණත් අවසානයේ 2010 දීත් ඒක යථාර්ථයක් ද? ඇත්තට ම ඒක එහෙම ම තමයි. බොහෝ කැරලි කෝලාහලයන් දිහා බැලුව ම හරි ම පුද්ගලවාදී ප්‍රවේශයන් තමයි දකින්නට තියෙන්නේ. බොහො ම සුළු පුද්ගලික අභිමතාර්ථයන් නිසා තමයි බොහෝ ඒවා පරාජය වුණේ. ‘ඒකා අධිපති’ ඇතුළේ වුණත් වීරයෙක් නෑ. වීරයා මැරිලා. ඒත් මං මේ නාට්‍ය ගෙනාවේ විප්ලවීය අදහස් සමාජගත කරන්නවත්, මේකෙන් ලාංකීය විප්ලවය කරන්න උගන්නන්නවත් නෙවෙයි. වීරයා මැරිලා වුණත් ඒ ගෙනියන අරගලකාරී ස්වභාවය අතරමං වෙනවා. ඒ අතරමං වන ප්‍රවේශය තුළ ම පේ‍්‍රක්ෂකයාට තීරණයක් ගන්න දීලා අපි නාට්‍යය නතර කරනවා.

නාට්‍යයත් සමඟ හිනාවෙන පේ‍්‍රක්ෂාගාරය එළියට බහින්නේ ඒ හිනාව එතන ම තියල කියලයි පෙනෙන්නේ. ලාංකීය පේ‍්‍රක්ෂාගාරය “වේදිකාවේ හාස්‍යය” දේශපාලනික ව බාර ගන්නේ යැයි ඔබ හිතනව ද?

දැන් දැන් පේ‍්‍රක්ෂකයන් ඒ දිහා සවිඥානක ව බලනවා කියලයි මට හිතෙන්නේ. අපේ රටවල ෆැසිස්ට්වාදී පාලනයක යම් යම් ඉරියව් හෝ ගතිකයන් දකින්නට තිබුණත් එවැනි පාලනයක් මුළුමනින් ම ගොඩනඟා ගැනීමට අපහසුයි. ඒක එක්තරා විදිහක ලාංකීය ජන විඥානයේ තියෙන ප්‍රබලත්වයේ ලක්ෂණයක්. යම් සමාජයක් දුර්වල වෙන්න වෙන්න තමයි ඒකාධිපතිත්වයක් බිහි වෙන්නේ. බ්‍රෙෂ්ට් ගේ අදහස් ඇසුරෙන් කිවහොත් අපේ ම දුර්වලකම් නිසා තමයි අපට වඩා දුර්වලයෙක් අපි ව මර්දනය කරගෙන නැඟිටින්නේ.

ලෝකයේ දුබලයෙක් මිස ප්‍රබලයෙක් කිසිදවසක මිනිසුන් මර්දනය කරගෙන නැඟිටින්න උත්සාහ කරන්නේ නෑ. මේ යුගයේ අපට බර්ටෝල් බ්‍රෙෂ්ට් ව අධ්‍යයනය කරනවා නම් ඔහුගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. 1976 දී මං අතින් “ඒකා අධිපති” බිහිවී 94 වෙද්දී “බ්‍රෙෂ්ට්ගේ නාට්‍යයක්” “යක්ෂාගමනය” හැටියට මගෙන් වේදිකාවට එනවා.

ඔබගේ “හංස විල” චිත්‍රපටය තිරගත වූ කාලයේදී වැඩි අවධානයකට ලක්නොවුණත් ඒ සම්බන්ධයෙන් පසු කාලේ යම් කතිකාවක් නිර්මාණය වුණා.

ඕනෑ ම කලා කෘතියක් පිළිබඳ නිවැරැදි හෝ අර්ථාන්විත කතිකාවක් නිර්මාණය වෙන්නේ එකී කලා කෘතිය සමාජගත කරන කාල පරිච්ඡේදයට වඩා දශක ගණනාවකට පස්සේ. ඉතිහාසය කියන්නේ නොමියෙන මිනිසුන්ගේ නවාතැන්පොළටයි. නැවත නැවත පසු විපරම් කරමින් ඒක සමාජගත කරන්නේ සමාජයමයි. ඕනෑ ම කලා කෘතියක් බලහත්කාරයෙන් සමාජගත කරන්නට බෑ. මගේ විශ්වාසයක් තියෙනවා මගේ “බව දුක” චිත්‍රපටය ගැන පවා පසු කලෙක විචාරකයන් වෙනස් විදිහට බලයි කියලා.

ඔබගේ නිර්මාණ ප්‍රවේශයන්ගෙන් වඩාත් කැමැති කුමන ප්‍රවේශයට ද?

නාට්‍යකරුවකුගේ භූමිකාවට මං වඩාත් කැමැතියි. ඉතාමත් සජීවී මිනිස් සම්බන්ධයක් මත ගොඩනැඟුණු එකක්. ලියැවුණු පිටපතක් එක්ක වේදිකාවට ගියාට සැබෑ මනුස්සයන් තමයි මේක ජීවමාන කරන්නේ. මං ජීවත්වන සමාජ වටපිටාව කෙබඳුද කියන එක මට එතැනදී අහුවෙනවා. ඒක මට පිටපතෙන් අහුවෙන්නේ නෑ. වර්තමානයේ මහා විකෘතියක් වූ දේශපාලන ධාරවත් එක්ක මං එකඟ නොවෙන්නේ මේ නාට්‍ය කලාවෙන් මට ලැබුණු දැනුම නිසයි. ඒ දැනුම මට අම්මවත් තාත්තාවත් දුන්නේ නෑ. මගේ ගුරුවරුන්වත් දුන්නේ නෑ.

මට දැනුම දුන් ගුරුවරුන් පවා මේකෙ ගොදුරක් වෙලා පෙරහැරේ යද්දී මං විතරක් උපේක්ෂාවෙන් ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒ කලා කෘති මට ලබා දුන් දැනුමට ලංකාවේ කිසිදු බුද්ධිමතකුට ළංවෙන්න බෑ. “බවදුක” චිත්‍රපටයෙන් මං මේ ඉරණම එදා කතා කරා. ඒත් “බවදුක” මිනිසුන් නොබලපු කලා කෘතියක් බවට පත්වුණා. මං ඒකයි මුලිනුත් කීවේ කාලයක් ගිහින් හරි ”හංසවිල” ට ලැබුණු සාධාරණත්වය “බවදුක” ටත් ලැබෙයි කියලා. ඒක තමයි කලාවේ විශිෂ්ටත්වය කියන්නේ.

ලාංකීය සමාජය තුළ මේ තරම් සමාජ ඛේදවාචකයක් අත්දකිමින් තිබියදීත්, ජාතික ප්‍රශ්නය හා යුදමය වාතාවරණය, දකුණේ ඇතිවුණු කැරලි කොලාහලයන් පවා කෙතරම් තීරණාත්මක වුවත් ඒකී අත්දැකීම් ගැඹුරින් ස්පර්ශ කරන කලාවක් අපේ කලාකරුවන් අතින් බිහිවුණේ නෑ.

ඒක ඇත්ත. ඔය ප්‍රශ්නෙ ම අපට වෙන විදිහකට අහන්න පුළුවන්. ලංකාවේ ස්වතන්ත්‍ර නිර්මාණ බිහිනොවී පරිවර්තන බිහිවෙන්නේ ඇයි කියලා. ලාංකීය සමාජය වග විභාග කිරීම ඉතා වැදගත්. යුද්ධය සැලැකිල්ලට ගත්තත් යුද්ධයේ අනෙක් පාර්ශවකරුවා වග විභාග කෙරෙන්නේ නෑ. ඉරි ගහලා වෙන් කරගෙන බෙදුම් රේඛාවක් මැද්දේ ඉඳගෙන අපේ අය ඒක පාර්ශවීය නිර්මාණ කරනවා. මේ බෙදුම් රේඛාව අබිබවා යන්නට බැරිකම නිසා කොයිතරම් ඛේදවාචකයක් අපි ව ගිලගත්තත් අපට හොඳ නිර්මාණයක් කර ගන්න බැරිවී තියෙනවා. ඒත් ඉන්දීය ලේඛකයන්, දෙමළ ලේඛකයන් මේ සීමා බිඳගෙන ගිහින් තියෙනවා. දෙමළ ලේඛකයකුගේ කවියක් සිංහලට පරිවර්තනය වුණත් ඒ හෘද ස්පන්දනය අපට දැනෙනවා.

හැදෑරීමක් කැපකිරීමක් නොමැතිවීමත් මේ තත්වයට හේතුවක්.

මම ඊට තවත් කාරණා දෙකක් එකතු කරනවා. අපට චින්තකයෝ නැතිවීමත්, අපි දූපත් වැසියෝ වීමත් මේ ඛේදවාචකයට හේතු වෙනවා. අපේ සමාජය ගැඹුරින් වග විභාග කරපු අපේ චින්තකයෙක් කියපු, ලියපු දෙයක් උපුටා දක්වන්නට අපට හැකියාවක් නෑ.” මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම”යි කියල බණ්ඩාරනායක කීවා කියයි. ඒ පාඨය උපුටල ඡන්ද ටිකක් කඩා ගන්න පුළුවන් වුණාට ලාංකීය සමාජය විනිවිද දකින්න පුළුවන්ද? අනෙක් අතට අපි දූපතක හිරවෙලා නිසාම අපි බොහෝ දේ ගත්තේ පිටින්. ණයට. එහෙමත් නැත්නම් කුලියට.

ඒත් ඒ බව පිළිගන්න අකැමැති නිසා අපේ අය බොහෝ දෙනෙක් විදේශයන්ට විරුද්ධයි. හැබැයි ඒ විරුද්ධත්වය ප්‍රකාශ කරන්න හොයාගන්න සටන්පාඨ ටික ගන්නෙත් ඒ රටවලින් ම ණයටමයි. ඒ හින්දා ඒ විරෝධයන් පවා “විහිලුවක්” බවට පත්වෙනවා. ඒ විහිලුව අපි තව තවත් සංවර්ධනය කරනවා. අපි අද දවසේ විරුද්ධ වෙන හැම බලවේගයක් ම අපට යමක් උගන්නලා තියෙනවා. මේක තේරෙන පිරිසකුත් රටේ ඉන්නවා. ඒත් ඒ අය මේ මොහොතේ නිශ්ශබ්දයි.

බොහෝ ප්‍රවීණයන් සඳහන් කරන්නේ 60 – 70 දශකය කලාවේ ස්වර්ණමය යුගය කියලයි. ඔබත් ඒ අදහසේ ම කොටස්කාරයෙක්ද?

ඇත්තට ම. මගේ “ඒකාධිපති” නාට්‍යයෙන් ම ඒකට උදාහරණ ගන්න පුළුවන්. එදා කිසිදු ආරාධනාවකින් තොර ව පක්ෂ විපක්ෂ හැම දේශපාලනඥයෙක් ම මගේ නාට්‍යය බලන්න ආවා. සමහර අය මට කතා කරා. සමහර අය කතා කළේ නෑ. සමහර අය එක්ක මගේ කිසි ම කතා බහක්වත් ජීවිත කාලේ පුරාවට සිද්දවෙලා තිබුණේ නෑ. ඒත් මේ හැමෝට ම යම් කලා කෘතියක් බලන්න, රස විඳින්න බුද්ධිය තිබුණා. කලා කෘතියක් වෙනුවෙන් ඒ හැමෝට ම වාඩිවෙලා ඉන්නට හැකි කාල පරිච්ඡේදයක් තිබුණා. ඒත් ඒ කාලය, අවකාශය නැතිවුණේ කලාකරුවෝ නිසා නෙවෙයි. ඔවුන්ගේ ම සටකපට, කූට උපක්‍රමශීලි බඩගෝස්තරවාදය නිසයි.

අද නාට්‍යයක් කළා ම බලන්න එන්නේ ප්‍රේක්ෂකයා නෙවෙයි. යාළුවෝ ටිකයි, නෑදෑයෝ ටිකයි, අනුග්‍රාහකයෝ ටිකයි විතරයි. මේකට හේතුව ලෙස එක එක්කෙනා එක එක මතවාද ප්‍රකාශ කරනවා. ඒත් සැබෑ හේතුව මේ එකක්වත් නෙවෙයි. රටේ කලාව පිරිහුණේ ලාංකිකයාගේ සංස්කෘතික ජීවිතය දේශපාලනඥයන් විසින් විනාශ කළ නිසයි. රටේ මිනිසුන් අවතැන් වුණේ යුද්ධයෙන් විතරක් නෙවෙයි. පාදඩ සංස්කෘතියෙනුත් අවතැන්වුණා. ඒ අවතැන් වුණු ප්‍රේක්ෂාගාරය අමතන්නට සිදුවී ඇත්තේත් අපටමයි. ඒක දැවැන්ත ඛේදවාචකයක්.

ඇතැම් රටවල සමාජ විකාශනයේ දැඩි මර්දිත අවස්ථාවන්ට මුහුණදීමට සිදුවූ අවස්ථාවන් වල පවා කලාකරුවන් සිය ආත්ම ප්‍රකාශනයක් කරන්නට විවිධ අත්හදා බැලීම් කළා. යථාර්ථවාදී ව යමක් ප්‍රකාශ කරන්නට අවස්ථාව නොලැබුණා ම “අධි යථාර්ථවාදය” මායා යථාර්ථවාදය” උපයෝගී කරගෙන තමන්ගේ ප්‍රකාශනය කළා. ලංකාවේ එහෙම අත්හදා බැලීමක් වත් දකින්නට නොලැබෙන්නේ මේ ඛේදවාචකය කලාකරුවන් අත්නොදකින නිසාද?

2010 වසරේ මේ මොහොත වන විට සැබෑ බෙදුම් රේඛාවක් ඇඳිලා තියෙනවා. නිදසුනක් හැටියට එච්.ඒ. පෙරේරා මිය ගියා ම එතැනට බැනර් එක එල්ලෙන්නේ “නොවිකිනුණු කලාකරුවා” කියලයි. ඒක එච්.ඒ. සූදානම් කරලා මැරුණේ නෑ. සමාජය විසින් ම කොයි මොහොතේ හෝ ඒ නිවැරදි අර්ථ දැක්වීම කරනවා. හිට්ලර්ගේ නාසි ජර්මනිය තුළ ඉඳගෙන නිර්මාණ කරන්න බැරි ව රට දාල ගිය නිර්මාණකරුවන් ඕන තරම් ඉන්නවා. ඒ අය ඔබ කීවා වගේම වෙනත් දේශ දේශාන්තර වල ඉඳලා හරි වෙනත් වෙනත් අත්හදා බැලීම් ඔස්සේ තමන්ගේ කාර්යය කරගෙන ගියා.

මේ ව්‍යසනය දකින සුළු පිරිසක් නිහඬවී සිටිනවා. අනිත් අය පෙරහරේ යනවා. ඉතින් කොහොමද කලාව ජය ගන්නේ. අද හිට්ලර්ගේ නාසි ජර්මනියට වඩා ඉතා සියුම් විදිහට අප ව වඩ වඩා දරුණු මර්දනයකට ලක්කරමින් ඉන්නවා. නාසි ජර්මනියේ තත්ත්වය ලෝකය ම දැක්කා. මේ තත්ත්වය ලෝකයට වහන් කරන්නට තරම් අද බලවේග සූක්ෂමයි. තත්ත්වය කොයිතරම් දරුණුද කියනවා නම් අද ඔබ මාව හමුවන බවට මට දන්වන දුරකථන ඇමැතුම කිසිදු වැදගත්කමක් නැති තුන්වෙනි පාර්ශවයක් විසින් අහගෙන ඉන්නවා. අද දවසේ අපට හිටගන්න වෙලා තියෙන්නේ “අවතැන්වීම” කියන බැනර් එක යටින්.


සංලාපය - ප්‍රියාන් ආර් . විජේබණ්ඩාර
http://silumina.lk/punkalasa/20100321/_art.asp?fn=ar1003211

1 comment:

  1. ඔබ වර්තමාන නාට්‍ය කලාව පිළිබඳ දක්වා ඇති අදහස් මම සැබවින්ම අනුමත කරනවා. නාට්‍ය කලාව පමණක් නොවෙයි වර්තමානයේ සමස්ත සමාජ රටාව තුළම දක්නට ලැබෙනුයේ ඇදහිය නොහැකි තරම් පිරිහීමක්. මනුෂ්‍යයා තවත් මනුෂ්‍යයෙක් පිළිබඳ සංවේදී වීම සමාජයෙන් බැහැරව ගිහින්. ඉතින් මේ නාට්‍යයෙන් කියවෙන අන්දමේ සමාජ විපර්යාශයක් ඇතිවීම සිහිනයක් පමණක් වෙලා, කිසි දිනෙක සබැ නොවන. කෙසේ වෙතත් යථාර්ථය පිළිබිඹු කිරීමට ඔබ ගත් අසීමිත උත්සාහයට ස්තුතියි.

    ReplyDelete